Sunday, January 29, 2017

පරිච්ඡේදය 01


Chapter 1

1. අවසන් හෝරාව..

2015 වසරේ අප්‍රේල් මස දිනකි. වේලාව හවස 04.00 පසු වූවා පමණි. එලඹෙන නව අලුත් අවුරුද්දට සූදානම් වන මිනිසුන්ගෙන් නගරය ජනාකීර්ණ බවක් උසුලයි. තැන තැන කඩපිල් වලින් නැගෙන ඝෝෂාවත් යම් තරමක වාහන තද බදයත් මේ දිනවල දහවල උවද දුලභ නම් නොවේ. තදබදයෙන් මෑත්වී බලන යමෙකුත් වේ නම් වාහන අතරින් අධික වේගයෙන් ගමන් කරන ‍යතුරු පැදි දෙකක් දිස් වනු ඇත. තවදුරටත් විමසිලිවත්වේනම් එය ධාවනයකට වඩා ලුහුබැඳ යාමක් බවද පසක් වනු ඇත. සත්‍ය ලෙසම එය බිහිසුනු ලුහුබැඳීමක්ම වේ.


මා එනම් රසිත් අනුරංග දිසානායක පසුපසින් ගමන් ගන්නා කොල පැහැති කවසාකි kdx වර්ගයේ යතුරු පැදියෙන් හොන්ඩා හොනට් වර්ගයේ සුදු පහැති යතුරු පැදියක් හඹා යමින් සිටිමි. විශාල ගෝනකු පසුපස හඹායන කොටියකුගේ විලාශයක් පිටතසිට බලන්නකුට පෙනෙනවා නිසැකය. කොටියාගේ පය පොලොවේ වදිනා අඩියක් පාසා දූවිලි අවිස්සෙන්නාක් මෙන් වේගය වැඩි කරනා මොහොතක් පාසා මාගේ ද්විපහර එනජිමේ 2T දහනයෙන් නිල් පැහැ දුම් වලාවන් නිකුත් කරයි. අවට උන්නවුන්ගේ ක්ෂනික බැල්ලමකට වඩා අවදානයක් නොමැති අයුරකි. මා මාරාන්තික කොටියකු නොවූ අතර ඉදිරියෙන් පලායන අනුර මාරසිංහ නැමැත්තා අහිංසකයකුද නොවීය. මැදිවිය ඉක්මවූ නමුත් උස ශක්තිමත් ශරීරයකින් යුතු අවිවහකයෙකු වන ඔහු මාරසිංහ ව්‍යාපාරික පරපුරේ ධනවත් බලවත් අවසන් පුරුකය. 

ඔරලෝසු කනුව පහුකරත් තවදුරටත් කොලඹ දෙසටම ඔහු ධාවනය කරයි. විනාඩි කිහිපයකට පෙර මා විසින් ලුහුබඳින බව පසක් කර නොගන්නට ඔහු සුපුරුදු පරිදි කායවර්ධන මධ්‍යස්ථානයට යාමට වම් පසට හැරී බොරලැස්ගමුවට යාම නිසැකය. ඔහුගේ දින චර්යාවට අනුව එය එසේම වන්නට තිබුණි. ඉක්මනින් නැම්මක් ගත් ඔහු වාහන පෙල අතරින් වම් පස මං තීරුවට එලැඹියේ මාගෙන් ඈත් වීමට වඩා බෝගස අසල වාහන හසුරුවන පොලිස් නිලධාරියාගේ අවධානයට මා හසු කරවීමට විය යුතුය. ක්ෂනිකව එක් ජියරයක් පහලට ගනිමින් ඔහුට වාහන කිහිපයක් පසුපසින් එම මං තීරුවටම එලැඹියේ වමින් පැමණි ත්‍රී රෝද රථයක් නොසලකමිනි. එහි නොගැටෙන බව මා දත් නමුත් කලබල ඌ රියදුරාගෙන් උනුසුම් වචන කිහිපයක් පිටවිණි. පොලිස් නිලධාරියාගේ අවධානය පාර පැනීමට බලා කහඉර දෙපස උන්නවුන් අතරය. අනුර නැවතත් දකුණු මං තීරුවට එලැඹියේ වාහන පෙල නතර කරවීමට පෙර ඉදිරියට යාමට විය යුතුය. පලායන්නාට වැඩි වාසියක් හිමිවිය. මා වාහන පෙලත් පදික මං තීරුව වෙන්කල වැටත් අතරින් වේගය වැඩි කරගනිමින්ම ඇදුනෙමි. ඔහු මා හට   සමාන්තරව ආසන්නව නමුත් වාහන පේලියකට දකුණුපසින් ඇදෙයි. මාහට ලැබෙනා පලමු අවසරයෙන්ම මා ඔහුගේ ඉරණම විසඳනු ඇත. මාගේ වෛරයේ ගිනිසිලු වලින් ඔහු දැවී යා යුතුය. නොඑසේනම් එයින් මාගේ අවසානයම සටහන් විය යුතුය. 

මින් පැය කාලකට පමණ පෙර මා මොරකැටිය හන්දි අසලින් ඔහු පසුපසින් වැටුනෙමි. ඒ වනවිටත් පැයක් පමණ මා එහි බලා සිටියේ ඔහු වෙනුවෙන්මය. මාගේ ජීවිතය ඔහුත්සමගින්ම අවසානයක් උවද ඒගැන මා කිසිවිටකත් පසු තැවෙන්නේද නැත. මරණයෙන් හෝ සිරමැදිරියකින් වන අවසානයක් ගැන හෝ බියක් දැනුදු මා සිත නොතවයි. වසර කිහිපයක් පුරා ඔහු ගැන සෙවිල්ලෙන් සිටි බැවින් අනුර ඔහුගේ දින චර්යාව ලෙහෙසියෙන් වෙනස් නොකරන බව මා දැන සිටියෙමි. තවද අභියෝගයක් හමුවේ ඔහු ලෙහෙසියෙන් පලා නොයන බවද මා දනිමි. මා හට ඉදිරිය එතරම් නොපැහැදිලි ලෙස හැඟීයන්නෙ එහෙයින් විය යුතුය. අප අතර වූ මෝටර් රථය වම් පසට ගැනීමට සඥා පහන් දල්වනු ලැබීය. මා වේගය වැඩි හෝ අඩු කර දකුණු දෙසින් යන අනුරට ලං විය යුතුය.  ඔහු මා පසුපසට වුවහොත් මා හට ඔහුගේ පා පහරක් නිතැතින්ම හිමිවේ. වේගය අනුව ඒ බව දැනුදු ඔහු පසක් කරගෙන සිටින බව අනුමාන කරමින් මා වේගය මදක් අඩු කර මෝටර් රථයට පසු පසින් දකුණට ගත්තෙමි. ක්ෂනිකව නැවත වේගය වැඩි කර ඉදිරියට ගනිත් ඔහු මීටර් 200 පමණ ඉදිරියෙන් වූ බසයකට ඉදිරියෙන් වම් පසට වූයේ ලද ඇසිල්ලෙන් උපරිම ප්‍රයෝජනය ගනිමිනි. මා බසයට පසු පසින් වමට ගත යුතුය. මේ ආසන්නයේ වම් පසට අතුරු මාර්ග වන අතර බසයේ මුවාව අනුව යමින් දකුණු දෙසට ඇති නුගේගොඩ පරණ පාරට උවද ඔහු හැරවිය හැකිය. වේගයත් වාහන තදබදයත් අතර වූ මේ සටන දෙදෙනාටම එක සේ මාරාන්තික වූයේ සුලු අත්වැරැද්දක් අනනුකම්පීය ලෙස ඔහු හෝ මා මරා දමනු නසැක වූ බැවිනි. මා නැවතත් වම් පසින් ඔහු දකින ඇසිල්ලේ නැවතත් ඉදිරියෙන් වූ තවත් බස් රථයක මූවාවට වෙමින් දකුණු පසට යතුරුපැදිය යොමු කලේ කිසි ලෙසකින්වත් නොසිතන දර්ශනයන් මවාපාමිනි. පලමු බස් රථයට මුවාවෙමින් ජංගම දුරකතනය අතට ගෙන සිටි ඔහු එය හෙල්මටය තුල රුවාගනු මා යන්තමින් දුටුවෙමි. වේගමානයක් මා යතුරු පැදියේ නොවූ මුත් එවිට පැයට කිලෝ මීටර 70 කට නොඅඩු වේගයකින් අපි වාහන අතරින් ඉදිරියට ඇදුනා විය යුතුය. මෙවන් අවස්ථාවක   ජීවිත අවදානමද නොතකා ඔහු දුරකතන ඇමතුමක් ගන්තේ තුන්වන පාර්ශවයකින් උදව් ගැනීමකට පමණක්ම විය යුතුය. එනමුත් ඒ පොලිස් සහයක් සඳහා නොවන බව මා හොඳාකාරවම දනිමි. එය ඔහුගේ ආකාරයද නොවේ. සිදුවීමට යන්නෙ කුමක් උවත් පරම අවසානය මාගේ හුදු පලිගැනීමේ ලේ පිපාසය සන්සිඳුවා ගැනීමට ප්‍රථම මා මිය යාමනම් මෙවරත් මා ඔහුට ගැලවීමට ඉඩදී වෙනත් අවස්තාවක් උදෙසා පසු බැසිය යුතුමය. ඉදිරියෙන් ඔහු දකුණු පසට වන්නේ නුගේගොඩ පරණ පාරට හැරවීමටනම් මාද ඒ අනුව යා යුතුය. එවිට මාර්ග තදබදය අඩුවන බැවින් වඩාත් පහසුවෙන් ජනාකීර්ණ නොවූ මාවතේ සමීප ඉලක්කයක් ගැනීමට ඉඩ ලැබෙනු ඇත. ච්ත්‍ර පටයක මෙන් මා සිතේ මොහොතකට එම සිතුවිලි ඇඳී ගියද එය කෙතරම් අපහසු කාර්යක් වේ දැයි මා හොඳින් දනිමි. මාගේ පස් අවුරුදු හමුදා ජීවිතය තුල මා යතුරු පැදියක ගමන් ගන්නා විට වෙඩි තැබීම පිලිබඳ මනා පුහුනුවක් ලබා ඇත්තෙක්මි. එය මාස 06 පමණ අති දුෂ්කර පුහුණුවක් විය. විවිධ බාධක හමුවේ තනිව සහ යුගල වශයෙන් කෙරුණු පුහුණුව විවිධ පරිසර තත්ව යටතේද සිදු කෙරිණි. සැහැල්ලු අවියකින් අධික වේගයෙන් ධාවනය වන යතුරු පැදියේ සිට තනි අතින් ඉලක්කයක් ගැනීමට වඩා අත් දෙකම හැඬලයෙන් මුදා ගන්නා ක්ෂනික ඉලක්කයක් වඩා සාර්ථක නමුත් වල ගොඩැලි සහිත මාර්ගයකනම් එය සියදිවි නසා ගැන්මක්ම වනු ඇත. 

අප අතර දුර ප්‍රමාණය මීටර 300 පමණ වී ඇත. ඉදිරියෙන් මා දකුණු පසට ගත්තේ ඔහු ඉදිරියෙන් හැරුණොත් ඒ අනුව මාද පහසුවෙන් ඉලක්කය හැකි ඉක්මනින් සපුරා ගන්නෙමි යන අදහසින් යුතුව කිසිඳු ආයාසයකින් තොරවමය. ඉදිරියෙන් පොලිස් නිලධාරියකු වාහන හසුරුවයි. දකුණුපස තනි ඉර කපාගෙන යමින් සිටි අප දෙදෙනා කෙරෙහි පොලිස් අවධානය යොමු නොවුනු නමුත් ඔහුට වේගයෙන් ආසන්න වෙමින් සිටියෙමු. ඔහු දකුණට හැරවීමට රථ පෙලට අවසර ලබා නොදේනම් කොලඹ දෙසටම අපද යා යුතුය. වේගය අනුව ඉදිරියට පැමිණෙන වාහන අතරින් දකුණට හැරවීම කල නොහැක්කක්ම විය. ගතවූයේ නිමේශයකි. ඔහු ජියර කිහිපයක් පහතට දමනු පෙනුනි. පොලිස් නිලධාරියා වඩාත් ලං වත්ම ක්ෂනික වේගය අඩු කිරීමක් කලේද ඊට අනුරූපව යතුරු පැදියේ එන්ජිම තීව්‍ර නමුත් ඉතා උස් ශබ්දයක් නිකුත් කෙරීය. ඉතාමත් උසස් අන්දමින් ඉදිරිපස තිරිංග යෙදූ ඔහු පසෙකින් ගමන්ගත් වෑන් රියේ ගෑවෙන නොගෑවෙන ලෙස යතුරුපැදිය ඇල කරමින් පසුපස රෝදය ඉදිරියට එන ලෙස ලිස්සා ගියේ ආයාසයකින්‍ තොරවමය. මීටර් 100 කට වඩා දුර තිබේ. පහසු ඉලක්කයක් ගත හැකිය. අනුරගේ පසෙකින් පොලිස් නිලධාරියාවූ මුත් ඔහු වටා ක්ෂනිකව සිදු වූ වෙනස කෙරේම ඔහුගේ අවධානයද යොමු වී ඇත. අනුරගේ දෑස මා කෙරේම යොමු වී ඇත. මාද ඔහුට අනුරූපව දෑස් ඔහු කෙරෙන් නොගෙනෙම යතුරුපැදිය පසෙකට ඇලවන ලෙස තිරිංග ආධාරයෙන් තනි සුදු ඉර හරහට වන ආකාරයෙන් යතුරුපැදිය නවතා ගනිමින් සිටියෙමි. ඔහු පොලිස් නිලධාරියාට මා පෙන්වනු හෝ මා කෙරේ වේගයෙන් පැමිණීමට තීරණය කර ඇත. මාගේ මනස එකෙනෙහි නිතැතින්ම ඔහුගේ දුරකතන ඇමතුම කෙරේ යොමු වූයේද යතුරු පැදියේ ක්ලචය මිරිකා ගනිමින් එය පලමු ජියරයට දැමුවේද නැවතුනු බයිසිකලයේ සමබරතාව රැක ගැනීමට දකුණු කකුල බිම තැබුවේද නිරායාසයෙන්මය. ඒ ක්ෂණයෙන් මා වටා වූ පරිසරයද වෙනස් වෙමින් තිබිණි. මා පසු පසින් පැමිණි තවත් යතුරුපැදියක් නලාව ශබ්ද කිරීමට යෙදුනේ මා අනුරගේ දෙනෙත් දෙස බලා සිටිමින්ම දකුණු අතින් ආරක්ශක අගුල ඇර උණ්ඩ කවා ඉනෙහි රුවා හුන් 09mm ගිනිඅවියට අත ගෙනයනවාද සමගිනි. පොලිස් නිලධාරියා දෙස නොබැලූ අනුර මා දෙස අභියෝගාත්මක වූ බැල්මෙන් යුතුවම වේගය වැඩි කරමින් පැමිණේ. ඔහු මා සමග ඉරණම් ක්‍රීඩාව තවදුරටත් කරගෙන යාමට තීරණය කර ඇත.

අධික වේගයෙන් මා වෙතටම ඔහු පැමිණීම දෛවයේ සරදමක්ම වේ. කිසිදු අපහසුවකින් තොරව උණ්ඩ කිහිපයකින් ඔහුගේ ජීවිතය අවසන් කිරීම නිශ්චල ඉලක්කයක් ගන්නාක් මෙන් පහසුය. පොලිස් නිලධාරියකු ඉදිරිපිට මහදවල් අමු අමුවේ මහා ජනකායක්ද ඉදිරියේ කෙරෙනා මිනී මැරුමක්ම වනු ඇත. මා දකුණත ඇක්සිලේටරය වෙත ගෙන ආවේත් පියවි සිහියට එලඹියේත් ඔහුගේ නිහඬ අභියෝගයට අනුගතවෙමිනි. එනම් ඔහු පෙන්වන මාර්ගයේ ලුහුබැඳ  මවිසින් ඔහුව බිම හෙලිය යුතුය. ඇසිල්ලකින් ඔහු මා ඉදිරියෙන් ඉගිලුනේ මා දෙස බලාගත් වනම වමතින් සන් කරමිනි. ඔහු පසුපසින් මා වැටෙමින්ම හිස හරවා මා පසු පස බැලූයේ මාගේ යතුරු පැදියේ පැති කණ්ණාඩි නොවූ හෙයිනි. මා සිතුවා නිවැරදි විය. පොලිස් නිලධාරියා තම වෝකි ටෝකි උපකරණයෙන් අමතනු පෙනිනි. අනුරද එය දුටුවා නිසැකය. ඉදිරියෙන් වම් පසට වූ අතුරු මගට ඔහු හැරවූයේ ප්‍රධාන මාර්ගයට සමාන්තරව පිටතින් රේල් පාරක් හා ඒ සමාන්තරවම  අප්‍රධාන මාර්ගයක්ද වූ හෙයිනි. අලුත් අවුරුදු සමය වූ හෙයින් එහිද තරමක තදබදයක් ඇත. එහිද වාසියද පලා යාමේ වාසියද ලබා ගනිමින් ඔහු රේල් පාරට සමාන්තරව වූ අතුරු පාරේ දකුණු දෙසට හරවා පමුණුව දෙසට වාහන අතරින් වේගයෙන් ඇදෙන ආකාරය මා දුටිමි. පරතරය මීටර් 300ක් ඉක්මවා තිබිනි. රේල් පැන්නුම ආසන්නවත්ම ඉදිරියට ඇදෙමින් තිබූ මෝටර් රථයද නොතකමින් රේල් පාරට මා පිවිසියෙමි.  සිල්පරන් කොට හා කලු ගල් කැබලි මතින් විසිවෙමින් ගමන් ගැනීමේ අපහසුව මග හරවා ගැනීමට මා නිරායාසයෙන් යතුරුපැදියේ සිටගත්තෙමි. එතරම් වේගයකින් යා නොහැකි උවද ඉදිරියෙන් බාධක නොවීය. අනුර ඉදිරියෙන් ක්‍රමයෙන් වැඩිවන කඩපිල් සහ වාහන තදබදයෙන් මහරගම තුලට හෝ පිටතට යාමට ඇති මාර්ගයට යොමු වීමට පමා වීම නිසැකය. මහරගම දුම්රිය ස්ථානය තුලින් මා යත්ම මගේ දර්ශනයෙන් ඔහු අතුරුදන් උවද ඔහු සමීපයෙන් මාර්ගයට මා අවතීර්න වීමි. කෝට්ටේ දෙසට හැරවූ ඔහුට මීටර 100 පමණ ඈතින් ඇදෙන්නට වීය. ක්‍රමයෙන් අඩුවූ වාහන තදබදය ඔස්සේ වේගවත් වූත් මාරාන්තිකවූත් ලුහු බැඳීමක්ම පමණි ඉන් පසු වූයේ. දෙදෙනාගෙන් කෙනෙකුන් හෝ ජීවිතාපේක්ෂාවක් සහිත වූවෙකු ලෙස නොපෙනෙන්නට ඇත.

මා කිසි ලෙසකිනුත් සතුරා අවතක්සේරු කර නොසිටියෙමි. එනමුත් මා සිතූ ලෙසින් ඔහුට සමීප වීමට ඔහු ඉඩ නොහලේ සෑම විටම මීටර් 200 කට නොඅඩු පරතරයක් පවත්වාගනිමිනි. නිවැරදිලෙස යතුරු පැදිය හැසිරවූ ඔහු මා හට ඉලක්කයක් ගැනීමට ඉඩ නොතබමින්ම තරමක් පාලු පෙදෙසක් වූ ශ්‍රී ජයවර්ධනපුර නවරෝහල ආසන්නයට මා රැගෙන යන බව සක් සුදක් සේ පැහැදිලි උවද මා තවදුරටත් ඔහු පසුපසින් වීමි. මේ පෙදෙස් මාහට නුපුරුදු නොවූයෙන් හා මාගේ සිතෙහි පසුබැස්මට වූ අකමැත්තත් හේතුවෙන් තවදුරටත් අවස්තාවක් තිබිය හැකි බවම මා විශ්වාස කලෙමි. මා නිවැරදි විය. ඉදිරියෙන් වංගු දෙකක් සහිතව වමට පල්ලමක් ඇති බව මා දැන සිටියෙමි. යන මාර්ගය අනුව භූමියේ වාසිය මාහට හිමිවනු ඇත. දෙපසින් විලක් සහ එලිමහන් භූමියක්ද පසු කරමින් ටී වංගුවකින් පාර දෙකට බෙදේ. ජනාකීර්ණ නොවූ හා එලිමහන් බවින් යුතුවූ බැවින් මාරයා එහි රැක සිටිනවා වැනිය. ඒ ආසනවත් පලමු වංගුවේදී ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක් හේතුවෙන් ඔහුගේ වේගය අඩාල විය. අප අතර පරතරයද සීග්‍රයෙන් අඩු විනි. ඒ අවසරයෙන් දෙවෙනි වංගුවෙන් වමට වූ පල්ලමට බට මා යතුරුපැදියේ වේගය පාලනය ක්ලචයට බාර දී දකුණතින් ගිනි අවි තරයේ අල්ලා ගතිමි. වලාකුලකින් හිරු වසාගෙන සිටි බැවින් පාලු එලිමහන මුස්පේන්තු බවක් ඉසිලීය. 

මාගේ දෙනෙත අදහා ගත නොහැකි වීය. නොඑසේනම් එය දෘෂ්ඨි මායාවක්ම වියයුතුය. මා පල්ලමට එලඹෙත්ම දකුණුපස විල් ඉවුරේ ශානි නොඑසේනම් මා හා පෙමින් බැඳී සිටි තරුණිය තම හොන්ඩා ඩියෝ වර්ගයේ යතුරු පැදිය මත වාඩිවී ඔඩොක්කුවේ වූ හෙල්මටය බරවී කම්මුල් මත දෑත් තබාගෙන සිටී. නිසොල්මනේ සිටි ඈ පලමුව අනුර දෙසත් දෙවනුව මා දෙසත් බලමින්ම හිටගන්නා අයුරු දුටුවෙමි. නිරායාසයෙන් ගිනිඅවිය ඉදිරියට පැමිණිනු අතර වේගය වැඩි කරගැනීමට පල්ලම ඔස්සේ ක්ලචය මිරිකුනේද ආයාසයක් නොගෙනමය. හිතේ ඇතිවූ කැලඹීම කොතෙක්ද යත් දකුණු පසට හරවමින්ම අනුර මා හා ශානි දෙස බලනුද දුටුවෙමි. ඉතාමත් පැහැදිලි ඉලක්කයක් ගෙන වෙඩි තැබීමට මීට වඩා පැහැදිලි කෝණයක් හෝ වේගය බිඳුනු මොහොතක් නොවෙනු ඇත. එක්තැන් නොවූ දෑසට ඔහු ඉලක්ක වූවද  උණ්ඩයක් පිට නොවීය. ශානි දෑත් මා දෙසට දිගු කරන් කෑ ගසමින් දිව එනු ඇස් කොණින් දුටීමි. වම් පසින් සුදු පැහැති යමක් හොල්මනක් මෙන් ප්‍රධාන ලාම්පු දල්වාගෙන වේගයෙන් පැමින මග අහුරාගත්තේද ඇසිල්ලකිනි. ජියරකිහිපයක් නොසැලකිල්ලෙන් පහලට කැඩෙනු හා සමබරතාවය ගිලිහුනු මා වමතින් හැඩලයද දකුණතින් ගිනිඅවියද ගිලිහුණේ සිහිනයකින් මෙනි. වේගයෙන් එහි මා හැපෙනු හා යම්කිසි වීදුරු යමක් බිඳීමෙන් නැගුනු සර සර හඬක් අසිහියෙන් මෙන් ඇසුණි. අධික කම්පනයක් වූවද වේදනාවක් නොවූ මා දෑස් අරිත්ම ඉදිරියෙන මුහුණට පාත්වූ සුදු පැහැති යමකින් මිදීමට මා නිරර්ථක උත්සාහයක යෙදෙත්ම සියල්ල නිලංකාර වන්නට විය.

Chapter 2

දෙවන පරිච්චේදයකින් හමු වෙමු..